ඔබේ දරුවා රෝහලේදී උපත ලැබූ පසු ශ්‍රවණ පරීක්ෂණයක් ඇතුළුව පරීක්ෂණ මාලාවක් ඔහුට හෝ ඇයට රෝහලෙන් නිදහස් කිරීමට පෙර සිදු කරනු ඇත. එහිදී ළදරුවකුගේ ජීවිතයේ මුල් අවධියේදී හඳුනා ගන්නා ශ්‍රවණාබාධ වලින් ඇති කරන බලපෑම අවම කිරීම සඳහා මෙම පරීක්ෂණය  සිදුකරීම ඉතාම වැදගත් වේ. මෙම ශ්‍රවණ පරීක්ෂණය ඉතාම ආරක්ෂිත, සරල, වේදනා රහිත සහ මිනිත්තු කිහිපයකින් සිදුකර අවසන් කළහැකි පරීක්ෂණයකි. එසේ වුවත් එමගින් ශ්‍රවණාබාධ සහිත දරුවකුගේ අනාගතයට සැලකිය යුතු වෙනසක් සිදුකර හැකි වැදගත් පරීක්ෂණයකි. ලෝකයේ සියලුම අලුත උපන් දරුවන්ට මෙම පරීක්ෂණය සිදුකිරීම ඉතාමත් වැදගත්ය.

අලුත උපන් දරුවාගේ ශ්‍රවණ පරීක්ෂාව යනු කුමක්ද?

මෙම පරීක්ෂණයේ මූලික පරමාර්ථය වන්නේ, ශ්‍රවණාබාධයක් ඇතිවීමට නැඹුරුවක් ඇති දරුවන් සහ වැඩිදුර ශ්‍රවණය සම්බන්ධ ඇගයීමට ලක් කළ යුතු අලුත උපන් දරුවන් හඳුනා ගැනීමයි.

ද්විතීක පරමාර්ථය වන්නේ, අලුත උපන් බිළිදුන්ට ඇති වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇතිවිය හැකි ශ්‍රවණාබාධ හඳුනාගැනීම සහ ඔවුන්ගේ ශ්‍රවණ මට්ටම සහ අතුරු ආබාධ සම්බන්ධයෙන් අඛණ්ඩව අධීක්ෂණය සිදුකිරීම සඳහා සැලැස්මක් සැකසීම සහ ක්‍රියාත්මක කිරීමයි.

මේ සඳහා දැනට සිදු කෙරෙන පරීක්ෂණ දෙකක් නම්, Otacoustic Emission test (OAE) පරීක්ෂණය සහ Auditory Brainstem Response (ABR) පරීක්ෂණයි. එම පරීක්ෂණ දෙකෙහිදීම ඔබේ දරුවා විවේකයෙන් සිටීම හෝ නිදා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Early hearing detection and intervention (EHDI) මාර්ගෝපදේශයන් යටතේ, අලුත උපන් බිලිඳුන්ට ශ්‍රවණ පරීක්ෂාව ඉපදී මාසයක් (1) ඇතුළත සිදු කිරීමත්, මාස තුනක් (3) ඇතුළත ඕනෑම ශ්‍රවණාබාධයක් හඳුනාගැනීමත්, ශ්‍රවණාධාර තෝරාගැනීම සහ ශ්‍රවණාබාධය තහවුරු කිරීමෙන් මාස එකක් (1) ඇතුලත ඒවා භාවිතයට යොමු කිරීමත් දෙමව්පියන් විසින් එම විකල්පය තෝරා ගන්නේ නම් එවැනි ශ්‍රවණාබාධ ඇති දරුවන් මාස හය (6) සිට මූලික ශ්‍රවණ හා කථන චිකිත්සාවන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සදහා යොමු කරයුතු බවත් පැහැදිලිව දක්වා ඇත.

 

කුඩා දරුවන්ට සිදුකරන මෙම ශ්‍රවණ පරීක්ෂණයේ වැදගත්කම සහ එහි ප්‍රතිලාභ

 

  • ශ්‍රවණාබාධ පිළිබඳව කල්තියා හඳුනා ගත් දරුවන් සහ පසුව හඳුනා ගත් දරුවන් සසඳන විට සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ භාෂා කුසලතා, දියුණු ශබ්දකෝෂය, කියවීම සහ අවබෝධය, බුද්ධිය, වඩා පැහැදිලි කථනය, සංජානනය සහ අධ්‍යාපනික සාර්ථකත්වය අතින් කල්තියා ශ්‍රවණාබාධ හඳුනාගත් දරුවන් ඉදිරියෙන් සිටින බව සිදුකළ ඇති පරීක්ෂණ මඟින් පෙන්වා දෙයි.

 

  • කිසියම් ශ්‍රවණ ගැටලුවක් හඳුනා ගතහොත් එම දරුවන්ට ඉතා ඉක්මනින් ශ්‍රවණය සම්බන්ධ ඉදිරි පියවරයන් සඳහා යොමු විය හැක. සිදුකර ඇති පරීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ මාස නවය (9) ක් හෝ ඊට  අඩු කාලයකදී හඳුනා ගන්නා ශ්‍රවණාබාධ සහ පිළියම්කළ දරුවන් සැලකිය යුතු ලෙස භාෂා වර්ධනයේ වෙනසක් පෙන්වා දෙන බවයි.

 

  • ශ්‍රවණාබාධ සඳහා කර්ණශංඛ බද්ධ කිරීම වැනි සැත්කම් වලදී හොඳම ප්‍රතිඵල ලබාගත හැක්කේ දරුවා කුඩා කාලයේදීම සිදුකරන සැත්කම් මගිනි.එහිදී වෙනත් අතිරේක රෝගාබාධ නොතිබේ නම් රෝග විනිශ්චය සහ ප්‍රතිකර්ම සඳහා යොමුවීමට ප්‍රමාදය වැඩි වන තරමට දරුවාගේ කථන භාෂාව, සමාජයීය කුසලතා වර්ධනයේ, සංජානන වර්ධන මට්ටමේ ඇතිකරන ප්‍රතිඵලද ප්‍රමාද වීමක් සිදු කරනු ඇත.

 

  • තවද දරුවා දිගුකාලීන සමාජ, මානසික, අධ්‍යාපනික සහ වෘත්තීයමය වශයෙන් ප්‍රතිලාභ රාශියක් ලබාගැනීමට සමත් වනු ඇත.

 

  • එසේම ශ්‍රවණාබාධ ඇතිවීමට මූලික හේතුව කලින් හඳුනා ගැනීම සහ එහි කළමනාකරණය ඉතා ඉක්මනින් සිදුකිරීමට මෙම පරීක්ෂණ උපකාරිවේ.

 

  • ශ්‍රවණාබාධ ආශ්‍රිත අනෙකුත් රෝග තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම, ප්‍රතිකර්ම කිරීම සහ කළමනාකරණයටද මෙම පරීක්ෂණය උපකාරී වෙයි.

 

  • ශ්‍රවණය සම්බන්ධ ගැටලුවක් නැති දරුවන්ගේද ශ්‍රවණ පද්ධතිය ක්‍රමානුකූලව වර්ධනය සහ ක්‍රියාකරන බවට මෙම පරීක්ෂණය මගින් සහතික කරනු ඇත. 

 

  • එසේම ශ්‍රවණාබාධය කල්තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය නොකළහොත් එමගින් බලපෑමට ලක්වන දරුවා සහ එහි පවුලට ඇති කරන ප්‍රතිවිපාක රාශියකි. එබැවින් හැකි ඉක්මනින් ශ්‍රවණාබාධ හඳුනාගත්විට පවුල තුළ ඇති කරන ආතතිය අඩු කිරීමටද මුල් අවස්ථාවේදී පරීක්ෂණය සිදුකිරීම උපකාරී වේ.

 

  • විශේෂයෙන්ම උපතින්ම ශ්‍රවණාබාධ ඇති දරුවන් හඳුනා ගැනීමේදී එම දෙමව්පියන් තවත් දරුවන් බලාපොරොත්තු වන්නේ නම්, ඔවුන් ජානමය උපදේශන සඳහා යොමු කිරීම සිදු කිරීමටද මෙය වක්‍රව උපකාරී වේ.

 

  • මෙම පරීක්ෂණය මගින් හඳුනා ගන්නා ශ්‍රවණාබාධ සහිත දරුවන්ගේ කඩිනම් රෝග විනිශ්චය මගින් විශේෂ අධ්‍යාපනය, කථන භාෂා සේවාවන් සඳහා වැය වන පිරිවැය යම් ප්‍රමාණයකින් හෝ අඩුවනු ඇත.

 

  • උපතේ සිට ළදරු කාලය පුරාම අපගේ ශ්‍රවණය, කථන හා භාෂා සංවර්ධනය සමග මොළයේ වර්ධනයට සෘඡුවම බලපෑම් ඇතිකරන අතර එමනිසා කුඩා හා මධ්‍යස්ථ මට්ටමේ  ශ්‍රවණාබාධයන් පවා මොළයේ යම් යම් වෙනස් කම් වලට තුඩු දිය හැකිය. එබැවින් සැලකිය යුතු සංවර්ධන ප්‍රමාදයකින් මිදීමට කල්තියා ශ්‍රවණාබාධ හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා මෙම පරීක්ෂණය මහත්සේ අලුත උපන් බිළිඳුන්ට උපකාරි වේ.

 

References:

Indian J Otolaryngol Head Neck Surg (April–June 2009).

Erenberg A, Lemons J, Sia C, Trunkel D, Ziring P. Newborn and infant hearing loss: detection and intervention. American Academy of Pediatrics. Task Force on Newborn and Infant Hearing, 1998–1999. 

National institute on deafness and other communication disorders. (NIH)

American Academy of Pediatrics: Early Hearing Detection and Intervention (EHDI) American Academy of Pediatrics: EHDI Guidelines for Pediatric Medical Home Providers.

American Speech-Language-Hearing Association1997-2021. 

 

 

එරන්දි දේවාලේගම

ශ්රවණ හා කථන භාෂා චිකිත්සක

BASLP (India) SLMC Reg No 59 & 145

රත්මලාන ඕඩියෝලොඦි ආයතනය

අලුත උපන් දරුවන්ට සිදුකරන ශ්‍රවණ පරීක්ෂණ
Call Now ButtonCall Now