මේ දවස්වල සෑම දරුවෙක්ම ගෙදර සිට අධ්‍යාපන කටයුතු වල නියැලෙන බැවින් දෙමාපියන් වන ඔබට දරුවාට අකුරු ලියවීම ඉතාමත් අපහසු කාරණාවක් බව අපි දන්නෙමු.දරුවන් කැමති, ගෙදර කියන ස්ථානයේදී නිදහසේ කෑ ගසමින් ,දුවමින් පනිමින් වැඩිහිටියන් සමඟ ආදරයෙන්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටය.නමුත් මේ කොවිඩ් තත්වයත් සමඟ අවුරුද්දක පමණ කාලයක සිට දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට අවතීර්ණ වී ඇත.එම ඔන්ලයින් පන්තියේදී ඔබේ දරුවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උවත් ඔහුට හෝ ඇයට රැඳී සිටීමට සිදුවෙයි.එසේත් නැත්නම් ඔබට පාඩමට සවන් දීමට සිදුවෙයි.නමුත් ගුරුතුමිය පවසන ක්‍රියාකාරකම දරුවා ලවාම සිදුකරවිය යුතුය.එම අවස්ථාවේදී ඔබට ඉතාමත් වෙහෙසක් ගැනීමට සිදුවන්නේ අකුරු ලියවිමටයි.බොහොමයක් දරුවන් අලවන,කපන,පාට කරන ක්‍රියාකාරකම් අසාවෙන් කරන නමුත්,පිටුව පිරෙන්න සිංහල,ඉංග්‍රීසි අකුරු දුන්විට හෝ ඊට වඩා ඉහළ ලිවීමේ ක්‍රියාකාරකමක් දුන්විට එය ප්‍රතික්ෂේප කරයි.එම ගැටළුව සඳහා හේතු කිහිපයක් බලපායි, එම හේතු වන්නේ ,

  1. දරුවා අකුරු වලට ආසාවක් නොදැක්වීම.
  2. දරුවාට මින් පෙර අකුරු ලියා පුරුද්දක් නොමැති වීම
  3. ඔබේ කථා විලාශය
  4. ඔබේ ඇති ඉගැන්වීමේ දුර්වලකම

මෙම හේතු වලට විසඳුම් කිහිපයක් පහත දැක්වේ.

01.දරුවා අකුරු වලට ආස නැතිනම් පළමුව දරුවාට අකුරු ලිවීමට ආසාවක් ඇතිකළ යුතුය.ඒ සඳහා පාට පැන්සල්,පාට පෑන් ,චෝක් ,දිය සායම් ආදී මාධ්‍යයන් යොදාගන්න.
උදාහරණයක් ලෙස ගුරුතුමිය, “ට ” යන්න ලිවීමට ලබාදුන් විට පත්තර පිටු වැනි විශාල කොළ බිම එළාගෙන, එම කොළයේ “ට ” යන්න ඉහත සඳහන් කළ මාධ්‍යයන් භාවිතා කරමින් ඔබත් දරුවා සමඟ එකම කොළයේ ලියන්න. ඉන්පසුව ක්‍රමයෙන් චිත්‍ර පොතක, ඉන් පසුව අභ්‍යාස පොතක ලිවීමට ලබාදෙන්න.

02.ඔබේ දරුවාට අකුරක් දුටුවිට එය ලිවීමට නොහැකිනම්,එය ඔහුගේ වරදක් නොවන බවත්,මීට පෙර එම අකුර ලියා පුරුද්දක් නොමැති වීමක් විය හැකිය.එසේනම් පළමුව කළයුත්තේ එම අකුර හඳුන්වා දීමයි.ඉන් පසුව දරුවා සමඟ ක්‍රමානුකුලව නිවැරදි පියවරවල් අනුගමනය කරමින් ලිවීම අරඹන්න.

03.ඔබේ කථා විලාශය මෙලෙස වෙනස් කරගනිමු.

  • “මේක ලියන්න.” වෙනුවට “අපි මේ අකුර ලියමුද පුතේ?” ආදී ලෙස පවසන්න.
  • “මේ අකුර ලියන්නේ නැතුව අද ඔතනින් නැගිටින්නේ නැ ” වෙනුවට “පුතේ අපි මේ අකුර ලියල පුතා ආසම චොක්ලට් මිල්ක් එක හදන්න යමුද?” ලෙස පවසන්න .
  • “මේක ලිව්වේ නැත්නම් තාත්තාට කියලා ගුටි දෙනවා” යන්න වෙනුවට පුතා මේ අකුර ලිව්වට පස්සේ තාත්තා ඒවි පුතා එක්ක චිත්‍රයක් පාට කරන්න”.යනුවෙන් පවසන්න.
    මේ ආදී වශයෙන් දරුවා ආස දෙයක් සමඟින් දරුවා උනන්දු කරමින් අපට අවශ්‍ය ක්‍රියාකාරකම කරවා ගන්න.

04.ඔබේ ඇති ඉගැන්වීමේ දුර්වලකම මඟ හැරගැනීමට විවිධ ක්‍රම යොදාගත හැක.අකුරු ලියන විට සෙල්ලමක් ලෙස සිදුකරන්න.,ඔබේ දරුවා කාර් ,බස් වලට ඇලුම් කරන්නේනම් අවශ්‍යය අකුර ලිවීමට එම වාහනම යොදාගත හැක.කොළයක අකුර ලියා,අකුර ලියන දිශාවටම වාහනය අකුර මත පැදවීමට දරුවාට පවසන්න.ඉන්පසුව පැන්සලක් හෝ චෝක් කෑල්ලක් ලබාදී වාහනය ගමන් කළ ආකාරයට අකුරමත ලිවීමට ලබාදෙන්න.

කුඩා දරුවන් ලිවීමේ ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?
Tagged on:
Call Now ButtonCall Now