සමාජයේ, වයස්බේදයක් නොමැතිව ඕනෑම පුද්ගලයෙක් හට ශ්‍රවන ගැටළුවක් තිබිය හැකිය.ශ්‍රවනාබාධයේ මට්ටම අනුව විවිධ පුද්ගලයන් හට ඇසෙන නොඇසෙන ශබ්ද විවිධයි.එබැවින් ඇතැමෙක්ට හයියෙන් කෑගැසුවත් පැහැදිලිව ඇසෙන්නේ නැති නමුත් හිමිහිට ගැඹුරු හඬින් රහසක් මෙන් පැවසුවහොත් ඇසෙනවා යැයි බොහොමයක් දෙනා පවසන දෙයකි.එයට හේතුව ඉහත සඳහන් කල පුද්ගලයන් හට ඇති විවිධ ශ්‍රවන මට්ටම් ය.එවැනි පුද්ගලයන් ඔබේ නිවසේ සිටිය හැකිය, නැතහොත් කාර්යාලයේදී,කඩයකදී හෝ සමාජයේ ඕනෑම ස්ථානයකින් හමුවීමට ඉඩ ඇත.ඔබට හමුවන පුද්ගලයන්ගේ ඇති ශ්‍රවනාබාධය මුහුණ බැලූ පමණින් හඳුනා ගැනීමට නොහැකි අතර ඔවුන් සමඟ සංවාදයක යෙදුනහොත් හඳුනා ගැනීමට හැකිය.ශ්‍රවනාබාධයේ මට්ටම අනුව විවිධ පුද්ගලයන් විවිධ ලක්ෂණ පෙන්වයි,

1.නැවත නැවත ඇසීම
උදාහරණයක් ලෙස ,නිවසේ සිටින වැඩිහිටියෙකු, ඔබ කුමන ප්‍රශ්නය ඇසුවත් “ආ” /”මොකක්ද කිව්වේ”/අයෙත් කියන්න ආදී වශයෙන් පවසනවා නම් එකම පිළිතුර හෝ ප්‍රශ්නය කිහිපවතාවක් පවසන්න සිදුවනවිට ඔබට තරහක් ඇතිවේ.නමුත් ඔබ කල්පනා කර බැලිය යුත්තේ ඔහුට එම තත්වය මිට අවුරුදු කිහිපයකට කලින් තිබුණේ ද යන්න යි.එවිට ඔබට මෙය ඔහුගේ වයස වැඩිවීමත් සමඟ වර්ධනය වූ ගැටළුවක් බව පෙනීයයි.එසේනම් මෙය ඔහු හිතාමතා සිදුකරන වරදක් නොවන බවත් ඔහුට ශ්‍රවනයේ ගැටළුවක් තිබෙන බවත් ඔබට වැටහෙයි.

2.පිළිතුරු ලබාදීමට වැඩි කාලයක් ගැනීම.
උදාහරණයක් ලෙස,කාර්යාලයේදී ඔබට හමුවන පුද්ගලයෙකු, ඔබ ඔහුගෙන් යමක් විමසුවහොත් ඔහු කල්පනා කරමින් සිට ඔබට සාපේක්ෂව වැඩි කාලයක් ගෙන පිළිතුරු දෙන්නේ නම් ඔහුට ශ්‍රවන ගැටළුවක් තිබිය හැකිය.මක්නිසාද යත් ,ඔබ ක්ෂණිකයෙන් ඔහුට යොමුකරන වදන්පෙළෙහි කොටසක් හෝ අකුරු කිහිපයක් මඟ හැරී ඇසුනහොත් ඔහුට එම මඟහැරුන කොටස උපකල්පනය කිරීමට සිදුවේ.එවිට ඔහුට එම මඟහැරුන කොටසත්,ඇසුන කොටසත් හරියාකාරව ගළපා ඔබවෙත ඉදිරිපත් කිරීමට සිදුවේ.එබැවින් එම පුද්ගලයට පිළිතුරු දීමට වැඩි කාලයක් ගතවේ.

3. ප්‍රශ්නයට අදාළ නොවන පිළිතුරක් ලබාදීම.
මේ දවස්වල අප සියලුදෙනාට, නිවස අසල ඇති කඩයට පවා යනවිට මුහුණු ආවරණයක් පැළඳීමට සිදුවේ.
උදාහරණයක් ලෙස,මඟතොටදී ඔබට හමුවන අසල්වසියෙක්ගෙන් ඔබ යමක් විමසුවිට ඔබ අසන පැනයට හාත්පසින්ම වෙනස් පිළිතුරක් ලැබුනහොත් ඔබට එය හාස්‍යය උපදවන දෙයක් විය හැකිය.නැතහොත් ඔබට තරමක් කේන්ති යයි.ඇත්තෙන්ම මුහුණු ආවරණයක් පැළඳු විට අප සමඟ කථාකරන පුද්ගලයාගේ තොල් චලනය පෙනෙන්නේ නැත.එබැවින් අපිට ඇසෙන දෙය පමණක් අපි වටහාගනියි.එබැවින් ශ්‍රවන ගැටළුවක් සහිත පුද්ගලයාත් ඔහුට ඇසෙන දෙයින් ඔහු උපකල්පනය කර පිළිතුරු දෙයි.එබැවින් ඔබ ඔහුගෙන් අසන දෙයට වෙනස්ම පිළිතුරක් ලැබිය හැකිය.එවැනි පුද්ගලයන් හට ශ්‍රව්‍ය දුෂ්‍ය මාධ්‍යයන් දෙකෙන්ම සන්නිවේදනය කරන විට ඉතාමත් පහසුවක් ඇතිවේ.එනම් මුහුණ බලාගෙන තොල් චලනයන්ගෙන් සහ ශ්‍රවනයෙන්.

4.පිළිතුරු ලබා නොදී සිටීම.
උදාහරණයක් ලෙස ගතහොත් ඔබේ පියාව, ඔබ ඔහු පසුකරමින් යන විට ඔබ ඔහුට යමක් පවසමින් ගමන් කළහොත්, ඔහු ඔබ කියූදේ ගනන් නොගෙන සිටියා සේ හැඟීමක් ඔබ තුළ ඇති වේ.නමුත් ඔහු සමඟ මුහුණට මුහුණ සංවාදයක යෙදෙන විට ඔහු ඔබට හොදින් පිළිතුරු දෙයි.එසේම ඔහු රුපවාහිනිය නරඹමින් සිටින අවස්ථාවක පවා ඔබ තරමක් ඈතින් සිට කථා කළහොත් ඔහු පිළිතුරු නොදී සිටීනම් ඔබගේ පියාට යම් ප්‍රමාණයක හෝ ශ්‍රවන ගැටළුවක් ඇතිබව මෙයින් නිරීක්ෂණය වේ.

5.නිතරම උස් හඬින් කථාකිරිම
ශ්‍රවන ගැටළුවක් පවතින පුද්ගලයෙක්ට ඔහුගේ කටහඬ පවා ඇසෙන ප්‍රමාණය අඩුය.එබැවින් ඇතැම් පුද්ගලයෝ නිරායාසයෙන්ම හඬ වැඩිකර කථාකිරිමට පෙළබෙයි .

6.සංවාද ප්‍රතික්ෂේප කිරීම.
උදාහරණයක් ලෙස ,ඔබේ හොදම මිතුරා දැන් වෙනදා මෙන් ඔබත් සමඟ වැඩි කථාබහක යෙදීමට අකමැති යයි සිතෙන්නේද?වෙනදා දුරකතනයෙන් පවා ඔබව අමතා තොරතුරු විමසන ඔහු දැන් ඔබගෙන් දුරකථන ඇමතුමක් පැමිණියත් සතුටින් සංවාදයේ යෙදෙන්නේ නැතිව, “මට ඇහෙන්නේ නෑ වැඩිය” යනුවෙන් පවසමින් “වෙන වෙලාවක කතාකරමු” යයි නිතරම පවසන්නේ නම් සහ යහළුමිත්‍ර සාදයකට ආරාධනා කළත් ඔහු පැමිණීමට ලැදිකමක් නොපෙන්වන්නේ නම් ඔබගේ මිතුරාට ශ්‍රවන ගැටළුවක් තිබීමට හැකිය.

මෙවැනි අවස්ථාවලදී ඔබත් ඔහුත් ඉතාම අපහසුතාවයකට පත්වනවා නොඅනුමානයි.එබැවින් තම තමන්ගේ ශ්‍රවනය වසරකට වරක් පරික්ෂා කර බැලීමට පුරුදු වන්න.ශ්‍රවන ගැටළුවක් යනු ලැජ්ජාවට කාරණාවක් නොවන බවත් එයට පිළියම් ඇති බවත් ඔබේ දෙමාපියන්ට,යහළුවන්ට,අසල්වාසීන්ට කාරුණිකව පැහැදිළිකර දෙන්න.ඔබට අවශ්‍යය විශේෂඥ සහය අපි ලබාදෙන්නෙමු.

හර්ෂි මුණසිංහ,

රත්මලාන ඕඩියෝලොජි ආයතනය

ශ්‍රවන ගැටළුවක් සහිත පුද්ගලයෙකු හඳුනා ගන්නේ කෙසේද ?
Call Now ButtonCall Now